යුද නිමාව සැමරීම මානව ගරුත්වයට නිගාවක් ද?

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ විජයග්‍රහණය සැමරීම මානව ගරුත්වයට නිගාවක් ද යන්න සාකච්ඡා කිරීම මා මෙම ලිපිය ලිවීමේ අරමුණ වේ. මගේ පෞද්ගලික මතයට සහ වැටහීමට අනුව එය එසේද යන්න මෙම ලිපිය තුළින් අදහස් කෙරේ.

හැඳින්වීම

පුරා වසර 26ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ නිල නිමාව 2009 වසරේ මැයි 19 වන දා සනිටුහන් වූ බව පොදුවේ සැලකේ. එය යුදමය අවසානයකි. විසි එක් වන සියවසේ සිවිල් යුද්ධයකට යුදමය අවසානයක් ගෙන දුන් රටවල් අතලොස්ස අතරට ශ්‍රී ලංකාව එකතු වූයේ එදා ය. යුදමය අතින් සිවිල් යුද්ධය අවසාන බව බොහෝ දෙනා පිළිගන්නා කාරණයක් බව මා හට වැටහේ.  සිවිල් යුද්ධයේ වෙනත් ඇතැම් බලපෑම් සම්පූර්ණයෙන් මඟහරවා ගැනීමට ශ්‍රි ලංකාවට නොහැකි වූ බව ද තවත් එක් ප්‍රසිද්ධ ප්‍රකාශනයකි. එම බලපෑම් මොනවද යන්න සාකච්ඡා කිරීම බොහෝ මතභේද වලට තුඩු දෙන කාර්යයක් බව පැවසීමේ වරදක් මා දකින්නේ නැත. එය එසේ වූවද, එම යුද්ධයේ යුදමය නිමාව සනිටුහන් කිරීම සැමරීම මානව ගරුත්වයට පටහැනි වේද?

සිවිල් යුද්ධය සංඛ්‍යාත්මක ඇසකින්

1983 සිට 2009 දක්වා කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය හේතුවෙන් මියගිය සංඛ්‍යාව නිශ්චිත ප්‍රකාශනයක් මෙතෙක් කල් පළ වී නොමැත. එක්සත් ජාතීන්ගේ සංගමයට අනුව 80,000-100,000 දක්වා පිරිසක් මෙම කාලය තුළ මරුමුවට පත්ව ඇති බව අනුමාන කෙරේ. මෙම සංඛ්‍යාවට එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන්, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන් සහ සිවිල් වැසියන් අයත් වේ.  ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලය (Uppsala University) මඟින් මෙහෙයවන Uppsala Conflict Data Program වැඩසටහන ලොව පවතින නොයෙක් සන්නද්ධ ගැටුම් ආශ්‍රිතව සිදුවන පුද්ගල හානි සංඛ්‍යාත්මක වශයෙන් ලබාගෙන සකස්කොට ප්‍රකාශ කරයි. එම වැඩසටහන මඟින් පෙන්වන දත්ත වල නිරවද්‍යතාවය ජාත්‍යන්තර වශයෙන් ඉතා බහුලව පිළිගෙන ඇත. මෙම වැඩසටහන මඟින් ප්‍රකාශ වූ දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් 1990 සිට 2009 දක්වා පැවති කාල වකවානුවේ ඇති වූ මරණ සංඛ්‍යාව 65,372ක් ලෙස සඳහන් වේ.


එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ත්‍රස්තවාදය

1956 සිංහල පනත මඟින් දෙමළ භාෂාව හට රාජ්‍ය පිළිගැනීමක් නොලැබීම හේතු කොටගෙන එමඟින් සුළුතර දෙමළ ජනතාව හට රාජ්‍යමය වශයෙන් අසාධාරණයක් සිදු වුවා යන තර්කය ඔස්සේ එස්.ජේ.වී චෙල්වනායගම් ප්‍රමුඛ ෆෙඩරල් පක්ෂය මඟින් දෙමළ ජනතාව හට සම අයිතීන් ලබා දෙන ව්‍යවස්ථාවක් සහිත දේශයක් ස්ථාපිත කිරීම මුල් වරට අදහස් කරන ලදී. මෙම පනත තුළින් රාජ්‍යමය සේවාවන් ක්‍රියාත්මක වීමේදී දෙමළ ජනයා හට දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමේදී ඇති වූ නොයෙකුත් අපහසුතා ඇති වුණ හෙයින් 1958 දී විශේෂ දෙමළ භාෂා පනතක් මඟින් උතුරු සහ නැගෙනහිර පළාත් හට රාජ්‍ය සේවය ලබා දීමේදි දෙමළ භාෂාව මාධ්‍යයක් ලෙස යොදාගැනීමට නියෝග කෙරුණි. අවසානයේදී 1978 ව්‍යවස්ථාවෙහි 4වෙනි පරිච්ඡේදය මඟින් දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් ලෙස නම් කරන ලදී.

1956 සිංහල පනත මඟින් රාජ්‍ය සේවය දියත් කිරීමේදී දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමේදී ඇති වූ අක්‍රමිකතා සහ මෙම පනත ගැන දෙමළ දේශපාලනය තුළ පැන නැගුණු විවිධ ආන්දෝලන එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීමට ආසන්න හේතුන් ලෙස දැක්විය හැකි බව මම විශ්වාස කරමි. කෙසේ නමුත් වෙනත් හේතුන් ද  විවිධ විශ්ලේෂණ මඟින් දක්වා ඇත.ෆෙඩරල් පක්ෂය මඟින් පළමුව ආ මෙම අදහස පසු කලෙක යුදමය වශයෙන් ඉටුකරගැනීම උදෙසා එල්.ටී.ටී.ඊ සංවිධානය 1976දී ස්ථාපිත කරන ලදී.

ත්‍රස්තවාදය නම් පදය හට ලොව පොදුවේ පිළිගත්  අර්ථ දැක්වීමක් නොමැත. එය කෙසේවෙතත් යම්කිසි දේශපාලනික වුවමනාවක් ඉටු කිරීමට යම් කිසි පාර්ශවයක් හට බල කිරීම සඳහා සිවිල් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදීම ත්‍රස්තවාදය යැයි පොදුවේ හැඳින්වේ. මෙම හැඳින්වීම ගැන වැඩිදුර විස්තර Encyclopaedia Britannica විශ්වකෝෂය තුළින් ලබා ගත හැක.

ශ්‍රී ලංකාව 1983 සිට 2009 දක්වා කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ඇති වූ සන්නද්ධ ගැටුම් ප්‍රධාන වශයෙන් ඇති වූයේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ සන්නද්ධ හමුදාවන් සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ හමුදාවන් අතර ය. මෙම කාලවකවානුවේ ශ්‍රී ලංකාව තුළ සිවිල් ජනයා හට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් බොහෝමයක වගකීම එල්.ටී.ටී.ඊ සංවිධානය බාර දිය හැකි බව පිළිගත හැක කරුණකි.

එබැවින් එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයකි. ඒ මන්ද යත් තම දේශපාලන අරමුණ වන ඊළාම් දේශයක් පිහිටුවීම උදෙසා ශ්‍රී ලංකා ආණ්ඩුව හට ඉඩ දීමට සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී සහ මර්දනකාරී ක්‍රියා වල නිරත වීම නිසා ය. අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත හා දෙපල හට හානි ගෙන දෙන ලෙස නොයෙකුත් ආකාරයේ ප්‍රහාර ගණනාවක් දියත් කෙරූ සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැඳින්වීමෙහි කිසිඳු වරදක් මා දකින්නේ නැත.

සාමය සහ යුද්ධය

විසිවන සියවසේ අග භාගයේ සිට ඇරඹුණු සිවිල් යුද්ධයන්ගෙන් බොහෝමයක් අවසන් වූයේ ගැටුම්කාරී පාර්ශවයන් තම ආයුධ බිම හෙළා සාමයේ මාර්ගයට පැමිණීම මඟිනි. ද ටයිම්ස් (The Times) සඟරාව මඟින් පළ වූ ලිපියක් මඟින් මෙම ප්‍රකාශයෙහි සත්‍යතාවය නොයෙකුත් සිවිල් යුද්ධවල අවසානයන් ආදේශ කරමින් පැහැදිලි කළ ඇත.

ශ්‍රී ලංකාවේ ද 2002 වසරේ දී එකල පැවති රජය සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර සටන් නිවාර ගිවිසුමක්(Cease Fire Agreement) ඇති විය. සිය ඊළාම් රාජ්‍ය සංකල්පය අත හැරූ එල්.ටී.ටී.ඊ සංවිධානය ෆෙඩරල් පාලනයක් යටතේ උතුරු සහ නැගෙනහිර පළාත් ගෙන යෑමට එකඟ විය. එය සිවිල් යුද්ධය හට සාමකාමී නිමාවක ගෙන දීමට බලවත් සාධකයක් වන බව යන විශ්වාසය ඇතැම් පිරිස් අතර පැන නැගුණි. එනමුත් වසර දෙකක් 6ක් වැනි කාලයක් තුළ එය එල්.ටී.ටී.ඊ සංවිධානය මඟින් 3000 වාරයකට ආසන්න ප්‍රමාණයක් කඩ කළ ඇති බව එම ගිවිසුම සම්බන්ධයෙන් පත් කළ කමිටුව වාර්තා කොට තිබුණි. මෙයට සිවිල් ජනයා හට එල්ල කල ප්‍රහාර ද අයිති වේ. එවැනි වාතාවරණයක් මැද සාමයක් අපේක්ෂා කිරීම අපහසු කාරණයක් බව පැවසිය හැක.

2008 වසර මුල ශ්‍රී ලංකා රජය සටන් විරාම ගිවිසුමෙන් නිල වශයෙන් ඉවත් වුව ද 2006 නොවැම්බර් මස සිට එවකට පැවති රජය එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද මෙහෙයුම් දියත් කරන ලදි. පුරා වසර දෙකහමාරාකට ආසන්න කාලයක් තුළ සිදු වූ අතිශය දරුණු යුද ගැටුම් මාලාවකින් පසුව 2009 මැයි 18 වන දා එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්විය.

මෙම කාල වකවානුව තුළ සිවිල් ජීවිත හට සිදුවුණු හානිය පිළිබඳ ව පොදුවේ පිළිගත් සංඛ්‍යාලෙඛන වාර්තාවක් නැත. ශ්‍රී ලංකා ජන ලෙඛන හා සංඛ‍යාලෙඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් වූ වාර්තාවකට අනුව 2006 සිත 2009 දක්වා පැවතුණු කාල පරිච්ඡේදයේ උතුරේ ගැටුම්වලින් මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 8,649කි. එක්සත් ජාතීන්ගේ සංගමයේ විශ්ලේෂණ කිහිපයකට අනුව මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 40,000 දක්වා ඉහළ ගිය හැකි බව පැවසේ. එනමුත් ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජන කමිටුවෙහි අනුමානය නම් මියගිය සිවිල් වැසියන් ගණන 7,721ක් සහ තුවාල ලත් සිවිල් වැසියන් ගණන 18,479ක් බව ය.


යුද්ධයේ අවසානය සහ මානුෂිකත්වය

අවසාන යුද මෙහෙයුම් කිහිපය කෙරෙහි එල්ල වුණු විවේචනයන්ගෙන් බහුතරයකම පදනම වූයේ සිවිල් වැසියන් ගේ ජීවිත හට සිදුවිය හැකි හානිය යි. මෙය එකතරා ආකාරයකින් සාධාරණ බව මම විශ්වාස කරමි. මෙම අවසන් මෙහෙයුම් කිහිපයේදී සිවිල් ජීවිත හට සිදුවුණු හානිය ගැන මම අවංකව ම දුක් වෙමි. ඒ පිළිබඳ සාධාරණයක් ඉටු වීම ගැන මාගේ විරුද්ධත්වයක් නොමැත. එනමුත් එම ජීවිත හානි බහුලයකට මග පෑදූ ක්‍රියාකලාපයන් හට උරුමකම් කිව යුතු සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය අද නොපවති යි. එම සංවිධානයේ එක් එක් සැකකාර සාමාජිකයන් සොයා ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා දුෂ්කර, භාරදූර කටයුත්තක් බව මම විශ්වාස කරමි.

දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ වාර්ගික පදනමකින් තොරව තම පුරවැසියන්ගේ මානව අයිතීන් සහ නිදහස් අගයන ව්‍යවස්ථාවක් සහිත දේශයක් දෙකඩ කොට වෙනම දේශයක් පිහිටුවීම උදෙසා නොයෙකුත් ත්‍රස්තවාදී ක්‍රියා ගණනාවක් දියත් කෙරූ සංවිධානයක් තම අභිමතයෙන්ම සාම මාවතෙහි වැඩි කල් නොරැඳ යුදමය වශයෙන් තම අභිමතාර්ථය ඉටු කරගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් ම කැප වූ විට එම දේශයෙහි ආණ්ඩුවක් හට යුද්ධය ප්‍රකාශ කිරීම හැරුණු විට වෙන විකල්පයක් නොමැති බව මම විශ්වාස කරමි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් කාලයේ දී ස්ථිර සාමයක් උදෙසා සන්නද්ධ ගැටුමක් වෙත අවතීර්ණ වනවා හැරුණු විට වෙන විකල්පය ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හට නොතිබූ බව මම විශ්වාස කරමි. නොයෙකුත් සාම සාකච්ඡා අසාර්ථක වූ අතර එල්.ටී.ටී.ඊ සංවිධානය සිය අභිමතාර්ථය ඉටු කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ සිවිල් වැසියන් හට හානි ගෙන දීමට වුවත් සූදානම් වූ අතර තම අවි බිම තමා සාමකාමී විසඳුමක් උදෙසා ඔවුන් කටයුතු කළේ නැත. යුද්ධයේ අවසන් මෙහෙයුම දක්වාම ඔවුන්ගේ අරමුණු වෙනස් නොවුණි.

එවැනි වාතාවරණයක් පවතින විට යුදමය විසඳුමකට එළඹීම එකම විකල්පය වීම සාමාන්‍ය කරුණක් බව මා හට හැඟේ. එලෙස ඇති වූ යුදමය ගැටුමක් හේතුවෙන් සිවිල් ජීවිත මෙන්ම එම ගැටුමෙහි සටන්කරුවන්ගේ ජීවිත හට හානි සිදුවීම ඛේදනීය වේ. එනමුත් යුද්ධයක අවසන් සහ බරපතල ම පිරිවැය වන්නේ එය යි.

එසේ හෙයින් එවැනි අතිශය දරුණු යුද්ධයක නිමාව සහ ත්‍රස්තවාදී සංවිධානයක යුදමය පරාජය සැමරීම යුද්ධයෙන් පීඩා විඳි පිරිස් හට කෙරෙන නින්දාවක් පමණක් බව මම විශ්වාස නොකරමි. මානව වාදී කෝණයකින් බැලූ විට ජීවිත හානි බොහෝමයකට වග කිවූ යුද්ධයකට යුදමය ආකාරයකින් හෝ තිත තබා සාමය කෙරෙහි අවතීර්ණ වීම අගය කරමින් යුද්ධයේ අවසාන ය සැමරිය හැකි බව මම විශ්වාස කරමි. අනාගතයේ සිදුවන්නට තිබූ මානව විරෝධී ක්‍රියාවන් බොහෝමයක වැළැක්වීමට ද, මානව විරෝධී ක්‍රියාවන් බොහෝමයකට සම්බන්ධ වූ සංවිධානයක ක්‍රියාවන්හි අවසානය සනිටුහන් කිරීමට ද අවැසි වූ මෙම යුද "ජයග්‍රහණය" ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි බව මගේ අදහස යි. සර්ව සම්පූර්ණ නොවුන ද, එයද ජයග්‍රහණයකි. මෙවැනි මානවවාදී හේතුන් සැලකිල්ලට ගෙන මෙම "ජයග්‍රහණය" සැමරීම මානව ගරුත්වය නිගා කිරීමක් ලෙස මම දකින්නේ නැත.







Comments